ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට්පිල සෙනසුරාදා (23) බංග්ලාදේශය බලා යති

Thanathillen Eha_1

බංග්ලාදේශයේදී මේ මස (ජුනි) 26වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන ටෙස්ට් තරග තුනක හා එක්දින සීමිත ඕවර තරග තුනක තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (23) බංග්ලාදේශය බලා පිටත්ව යති.

මේ තරගාවලිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ මේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංග්ලාදේශයේ දී උපරිම දක්ෂතා පෙන්වුවහොත් ටෙස්ට් කණ්ඩායමට ඇතුලුවීමට අවස්ථාව ඇති හෙයින් ඔවුන්ට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බවයි.

Sri Lanka A Team for Bangladesh tour 2018

මේ සංචාරය සදහා මා හට හොද සංචිතයක් ලැබී තිබෙනවා. දක්ෂම ක්‍රීඩකයන් යොදවා තරගාවලිය ජයගැනීම අපේක්ෂාවයි. පසුගිය දිනවලදී මට එතරම් පිත්තෙන් දස්කම් පෙන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ සංචාරයේ දී ඉක්මනින්ම ලකුනු අතරට පිවිස ටෙස්ට් කණ්ඩායමේ තම සුපුරුදු ස්ථානයේ ක්‍රීඩාකිරීම තම අපේක්ෂාව යැයි දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක අදහස් දක්වමින් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත් වන මේ සංචාරයේදී නවකයන්ට මනා පළපුරුද්දක් ලබා ගත හැකි බවත් සංචාරයේ දී උපරිම දස්කම් පෑම කණ්ඩායමේ අපේක්ෂාව බවත් කීවේය. බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉතා දක්ෂ පිරිසක්. ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ සියල්ලට අප සැලසුම් සකස් කර දස්කම් පෑමට අපේක්ෂාවෙන් සිටින බව කළමණාකරු කීවේය.

ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන අදහස් දක්වමින් තමා සෑමවිටම අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින නිසා මේ තරුණ කණඩායමත් සමග බංග්ලාදේශයට ගොස් දස්කම් දක්වා ජයග්‍රහන රැගෙන ඒමට අපේක්ෂාවෙන් සිටින බව කීය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජුනි 26- 29 ජුලි 3-6 සහ ජුලි 10 -13 දිනයන්හි නිලනොවන සිව්දින ටෙස්ට් තුනටත් ජුලි 17,19 හා 22 දිනවල එක්දින තරග තුනකටත් සහභාගිවීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ