ශ්‍රී ලංකා ‘ඒ’ බංග්ලාදේශ ‘ඒ’ එක්දින සම සූරයෝ වෙති

Thanathillen Eha_1

බංග්ලාදේශයේ පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ තුන්වන හා අවසාන එක්දින තරගයේ අඩක් ගතවද්දී ඇද හැළුණු ධාරානිපාක වර්ෂාව මත තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්වූ අතර තරග තුනක එක්දින තරගාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙක සම සූරයන් බවට පත්විණි.

එක්දින තරගාවලියේ ප්‍රථම තරගය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ලකුණු දෙකකින් ජයගත් අතර දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයගත්තේ ලකුණු 67කිනි. තරගාවලියේ වීරයා ලෙස තේරුණේ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාය.

තෙවන හා තීරණාත්මක එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 45 අවසානයේ කඩුලු නවයකට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 240කි. බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕවර 3.4කදී කිසිවකු නොදැවී ලකුණු 12ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ මුළු ලකුණු හතරේදී උපුල් තරංග ලකුණකට දැවී ගියේය.දෙවන කඩුල්ලට සධීර සමරවික්‍රම (75) සහ අෂාන් ප්‍රියංජන් (53) ඕවර 22.5කදී ලකුණු 130ක් රැස් කරමින් ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ. මොවුන් දෙදෙනාගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය ඕවරයකට හයකි.

සධීර සමරවික්‍රම පන්දු 83කට මුහුණදී හතරේ 12ක් සමග ලකුණු 75ක්ද අෂාන් ප්‍රියංජන් පන්දු 62කදී හතරේ පහක් සමග ලකුණු 53ක්ද ලබාගත්හ.

මේ පිතිකරුවන් දෙදෙනා දැවීයාමෙන් පසු සෙසු පිතිකරුවන්ද එම වේගයම තබාගැනීමට උත්සහ දැරීමේදී ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ. නායත තිසර පෙරේරා පමණක් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලංකා ඉනිම 240 සීමාවට ගෙන ඒමට පන්දු 44කට මුහුණ දී හතරේ පහක් සමග ලකුණු 44ක් රැස් කළේය.

සෙසු පිතිකරුවන් උපුල් තරංග (01) ෂෙහාන් ජයසූරිය (01) දසුන් ශානක (01) ෂම්මු අෂාන් (15) ෂෙහාන් මධුශංඛ (29) ඉසුරු උදාන (02) මලින්ද පුෂ්පකුමාර නොදැවී (09) සහ නිශාන් පීරිස් (නොදැවී 01) අඩු සංඛ්‍යවන්ට දැවී ගියහ. සන්සමුල් ඉස්ලාම් ලකුනු 247කට කඩුලු 4ක්ද කාලිඩ් අහමඩ් ලකුණු 42කට කඩුලු 2ක්ද දවාලූහ.

බංග්ලාදේශ ‘ඒ’ පිල මිනිත්තු දහයක් පන්දුවට පහරදෙද්දී (කිසිවකු නොදැවී 12යි) වර්ෂාව පතිත වූයෙන් තරගය නතර කෙරිණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-