ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනිදා එංගලන්තය බලා යති

Thanathillen Eha_1

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 7වැනිවදා එංගලන්තය බලා පිටත්ව යන්නේ තම ප්‍රථම තරගය වන ජුනි 1වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නවසීලන්ත තරගයට සති තුනකට කළිනි.

එංගලන්තය බලා පිටත්ව යාමට ලංකා කණ්ඩායමට තව ඉතිරිව ඇත්තේ දින 17ක් වැනි කෙටි කාලයකි. මෙම කාලය තුළ ශ්‍රී ලංකා පිල මාදුරුඔය විශේෂ සේවා බලකා කඳවුරේ සතියක ශාරීරික අභ්‍යාසවලද පසුව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සතියක් තුළ ක්‍රීඩා පුහුණුවක් නෝවාසිකවද ලැබීමටද නියමිතය.

ලංකා කණ්ඩායම පිළිබඳව මෙරට ක්‍රීඩාලෝලීන් උවමනාවට වඩා අඩු තක්සේරුවකින් සැළකිය නොයුතු කරුණු කිහිපයක්ම තිබේ. ලොව සුපතල මෙවැනි තරගාවලියන්හි දී බලාපොරොත්තු නොවන කුඩා කණ්ඩායම් ඉදිරියට ආ අවස්ථා මෙන්ම ප්‍රබලම තෝරු මෝරු (ප්‍රබල කණ්ඩායම්) මූලික වටයෙන්ම විසිවූ වාරද අන්තය. ප්‍රබලම ඕස්ට්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා එංගලන්තය සූරතාව දිනනු ඇතැයි මුලින් සිතා සිටි අවස්ථාවල මුල්වටයේම ඉවතට විසිවුණු අවස්ථා ඇත.

ශ්‍රී ලංකාව කවදත් ලෝක කුසලාන තරගාවලියන්හි දස්කම් දක්වා ඇති බව බොහෝදෙනා දනිති. 2003 (දකුණු අප්‍රිකාව) 2007 (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) 2011 (දකුණු ආසියාව) සහ 2015 (ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය) පැවැති තරගවලියන්හි 2007 සහ 2011 ලංකා කණ්ඩායම අවසාන තරගයට පවා තේරිණි. 2003 හා 2015 ලංකා පිලට අවසාන පූර්ව තරගයට සුදුසුකම් නොලැබුණේද යන්තමිනි. 1996 අප ලෝක සූරයන් විය. මෙවර මඳ අඩුවකට ඇත්තේ ජගත් එක්දින ශ්‍රේණි ගත කිරීමේදී ලංකා පිල පිටුපස සිටීමය.

කාඩිෆ්හි ජුනි 1 සහ ජුනි 4 නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමග තරග දෙක ආරම්භයේදීම ජයගතහොත් ලංකා පිලට ඉදිරි තරගවලට සාර්ථකව මුහුණු දීමට අධිෂ්ඨානය හා ශක්තිය ලැබෙනු නිසැකය. තරගාවලියට සහභාගිවන ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පිරිනැමුණේ ඔහුෙග් දක්ෂතාවයට අමතරව වෙනත් නායකයෙකුට වඩා කණ්ඩායම් හැඟීම හා ක්‍රීඩකයන් එකමුතු කිරීමේ හැකියාව ඔහු තුළ පැවැතීම බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ප්‍රකාශ කරයි. එසේම අකිල ධනංජය ඉවත් කළේ ධනංජය ද සිල්වා ඔහුට වඩා හොඳින් පන්දු යවන නිසාත් අකිලට වඩා ධනංජය පන්දුව දඟ කවන නිසා  බවත් ද මැල් කියයි. මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට එක්වීම පිළිබදව අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා කීවේ අංක 8 ස්ථානයේ පිතිකරු ලෙස තුන්ඉරියව් ක්‍රීඩකයෙකු අවශ්‍යවූ හෙයින් ඊට සුදුසුම පුද්ලගයා සිරිවර්ධන බවය.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ස්කෝට්ලන්තය සමග පුහුණු තරග දෙකකටත් දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව සමග පුහුණු තරගය බැගිනුත් සහභාගිවේ.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

air max 90 essential sale