ශ්‍රී ලංකා ක්‍රිකට් 2018 වසරේ විස්සයි -20 තරගාවලිය අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2018 වසරේ ඕවර 20 – 20 ලීග් ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් හතරේ සහභාගිත්වයෙන් අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා කොළඹ, මහනුවර හා දඹුල්ල නගරවලදී පැවැත්වේ.

අගෝස්තු 21 සිට 30 දක්වා කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමග තරග දෙක බැගින් ලීග් ක්‍රමයට තරග 12කට සහභාගීවේ. මෙහිදී ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 2 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේ දිවා/රාත්‍රි තරගයක් ලෙස අවසාන තරගයට සහභාගිවෙති.

ලීග් වටයේ තරග අගෝස්තු 21 හා 22දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේත් අගෝස්තු 25 හා 26 දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත් අගෝස්තු 29 හා 30 දිනවල මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතයි.

සියලුම තරග 13ක් පැවැත්වෙන අතර ඉන් තරග හතරක්ම දිවා – රාත්‍රි තරග ලෙස ආරම්භ වන්නේ රාත්‍රි 7.00ටය. ඉතිරි තරග හය දිවා කාලයේ ලෙස සවස 2.00ට ආරම්භවේ.

SLC T20 League Team Captains_IMG_9748

තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් සිකුරාදා (17) පැවැති අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මේ තරගාවලියට සහභාගිවීමට වැඩිපුර තරුණ ක්‍රීඩකයනට අවස්ථාව ලබාදීමෙන් ඔවුන්ට ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් අත්දැකීම් රාශියක් බාල වියේදීම ලබා ගැනීමට අවස්ථාව උදාවන්නේ යැයි කීවේය. මෙම 20-20 තරගාවලිය හොදින් සාර්ථක කර ගැනීමෙන් ලබන වසර වනවිට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද සහභාගි කරවා ගෙන මෙහිදී ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද ඔහු කීවේය.

මේ වසරේ අගෝස්තු, සැප්තැම්බර් මාසයන්හි මෙහිදී ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට පසුගිය මැයි මස තීරණය කළ බව කී ඈෂ්ලි ද සිල්වා මහතා අපගේ එම අපේක්ෂාව මෙම වසරේ ඉටුකරගත හැකි නොවූවත් ලබන වසරේ දී එය ඉටු කර ගනිමු යැයි කීය. තරුණ ක්‍රීඩකයන්ට දී ඇති අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අවස්ථාවේදී පැවැසීය.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට කණ්ඩායම් හතරේ නායකයන් ඇන්ජලෝ මැතිව්ස් (මහනුවර) සුරංග ලක්මාල් (ගාල්ල) දිනේෂ් චන්දිමාල් (කොළඹ) හා තිසර පෙරේරා (දඹුල්ල) තරගාවලියේ අධ්‍යක්ෂ සජිත් ප්‍රනාන්දු තේරීම්  කමිටු නිලධාරී එරික් උපශාන්තද සහභාගි වූහ.

මහනුවර කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් (නායක) දසුන් ශානක (උප නායක) ප්‍රියන්ත උදයරත්න (කළමණාකරු) පියල් විජේතුංග (පුහුණුකරු) ග්‍රේම් ලැබ්‍රෝයි (තේරීම් නිලධාරි) කොළඹ කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (නායක) උපුල් තරංග (උප නායක) ගජබා පිටිගල (කළමණාකරු) අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු) ජෙරී වවුටර්ස් ( තේරීම් නිලධාරි) ගාල්ල කණ්ඩායමේ සුරංග ලක්මාල් (නායක) දිමුත් කරුණාරත්න (උප නායක) නලින්ද ඉලංගකෝන් (කළමණාකරු) රෝයි ඩයස් (පුහුණුකරු) ගාමිණි වික්‍රමසංහ (තේරීම් නිලධාරී) දඹුල්ල කණ්ඩායමේ තිසර පෙරේරා (නායක) දිල්රුවන් පෙරේරා (උපනායක) විනෝදන් ජෝන් (කළමණාකරු) සුමිත්‍ර වර්ණකුලසූරිය (පුහුණුකරු) එරික් උපශාන්ත (තේරීම් නිලධාරි) ලෙසත් කටයුතු කරති.

2018 වසරේ 20 – 20 තරගාවලියේ ජයග්‍රහකයනට රුපියල් ලක්ෂ විස්සක්ද අනුසූරයන්ට ලක්ෂ 15ක්ද පිරිනැමේ.

බන්දුල මොල්ලිගොඩ