ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තියුණු තරගයකින් ලකුණු හතකින් පරදී

Thanathillen Eha_1

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා දෙවන එක්දින ක්‍රිකට් තරගය ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව ලකුණු හතකින් ජයගැනීමට ඉන්දීය කාන්තා පිල බ්‍රහස්පතින්දා (13) සමත් විය. ඉන්දීය කාන්තා පිල ඕවර 50අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබා ගත් ලකුණු 219ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල ඕවර 48.1කදී ලකුණු 212ක් ලබා ජයග්‍රහණය අසළටම පැමිණියත් ජයග්‍රාහී කඩඉම පසුකිරීමට ඔවුනට අවස්ථාවක් නොලැබිණි.

ලකුණු 220ක ජයග්‍රාහි ඉලක්කයක් කරායාමට ලංකා පිල පැමිණි අවස්ථාවේ නායිකාව චමරි අතපත්තු නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ අටක් හයේ එකක් සමග ලකුණු 57ක් (පන්දු 95) රැස්කළහ. සිව්වන කඩුල්ලට ඇය ශෂිකලා සිරිවර්ධන (ලකුණු 49යි පන්දු91යි හතරේ හයයි) එක්කළ ලකුණු ප්‍රමාණය 89කි, ඊට අමතරව නිලක්ෂි ද සිල්වා හයේ දෙකක් හතරේ දෙකක් සමග පන්දු 19කදී ලකුණු 31ක් ලැබුවාය. ඒ.සංජීවවනි (17) ශ්‍රීපාලි වීරක්කොඩි (17) වැඩි ලකුණු රැස්කළ සෙසු පිතිකාරිණියන්ය.

Chamari Attapattu 50_ DSC_6170

ඉන්දීය කාන්තාපිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී ලකුණු 219ක් ලබාගත්තේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.38ක් වන පරිදිය. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබුවේ නායිකාව මිතාලි රාජ් (ලකුණු 52යි පන්දු 121යි හතරේ 4යි) ටී.බාටිය (ලකුණු 68යි පන්දු 66යි හතරේ 9යි) ඩී.හේමලතා (ලකුණු 35යි පන්දු 31යි හතරේ 1යි) යන පිතිකාරිණියන්ය.

ඔවුනගේ හොදම සබදතාව වූයේ පස්වන කඩුල්ලට මිතාලි රාජ් සහ ටී.බාටිය එක්කළ ලකුණු 76ය. ඉන්දීය ඉනිමේ අවසාන ඕවරයේ කඩුලු 4ක්ම බිදවැටිණි. නායිකාව චමරි අතපත්තු ලකුණු 42කට කඩුලු තුනක් දවාලූවාය.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනක එක්දින තරගාවලිය ඉන්දීය පිල තරග 2-0කින් ජය ලැබීය. තෙවන තරගය ඉරිදා (16) මීගමුවේදී පැවැත්වේ.

ඉන්දියා කාන්තා පිල ඕවර 50කදී  ලකුණු 219යි.

මිතාලි රාජ් 52යි, ටී.බාටිය 68, ඩී.හේමලතා 35, චමරි අතපත්තු 42ට 3

ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 48.1කදී 212යි.

චමරි අතපත්තු 57, ශෂිකලා සිරිවර්ධන 49, නිලක්ෂි ද සිල්වා 31, ඒ.සංජීවනී 17, ශ්‍රීපාලි වීරක්කොඩි 17, එම්.ජෝසි 51ට 3, ආර්.ගයක්වාඩ් 37ට 2

බන්දුල මොල්ලිගොඩ