ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය 12 සිට ගාල්ලේ දී

Thanathillen Eha_1

2018 ජූලි 11,

බොහෝ අවස්ථාවන්හී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසි ලබා දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ බ්‍රහස්පතින්දා (ජූලි 12 වන දා) ඇරඹෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම පස් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වී ඇත්තේ කොදෙව් සංචාරයේ අවසන් භාගයේ ලත් ජයග්‍රහන මානසිකත්වය උපයෝගී කරගෙන තරග ජයග්‍රහණය කිරීමය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 30 කට සහභාගී වී තරග 17ක්ම ජය ගෙන තරග 5 ක් ජය පැරදුමින් තොරව අවසන් කර තරග අටක් පරාජය වී සිටී.

1993 ආරම්භ වූ ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැත්වෙන්නේ විසි හයවන ටෙස්ට් තරගයයි.මෙතෙක් පවත්වා ඇති තරග විසි පහෙන් දකුණු අප්‍රිකාව තරග 14 ක්ද ශ්‍රී ලංකාව තරග 5ක්ද ජයගෙන තරග හයක් ජය පැරදුමින් තොරව අවසන් කර තිබේ.ශ්‍රී ලංකාවේ පැවති තරග අතුරින් 2004 වසරේදී ශ්‍රී ලංකාව තරග 1-0 කින්ද 2006 දී ශ්‍රී ලංකාව 2-0 කින්ද ජයගත් අතර 2014 වසරේදී දකුණු අප්‍රිකාව තරග 1-0 කින් ජය ලැබීය.

Sri Lanka Team Practice session in Galle_D4W1567x

2006 වසරේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන (ලකුණු 374)ක් සහ උප නායක කුමාර සංගක්කාර (ලකුණු 287)ක්  ලබා ලංකා තෙවන කඩුල්ලට ලකුණු 624ක් රැස් කරමින් ලෝක වාර්තාවක් තැබීම දෙරට අතර තරගාවලියේ විශේෂතම සිදුවීමකි.

ෆෆ් ඩු ප්ලෙසිගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ මෙවර (2018) ශ්‍රී ලංකා සංචාරයේ ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව වී ඇත්තේ වේගපන්දු යවන්නන් තිදෙනාවන වර්නන් ෆිලැන්ඩර්, ඩේල් ස්ටේන් හා කගිසො රබාඩා කෙරෙහිය.

සෙනසුරාදා පැවති දෙදින පුහුණු තරගයේදී ටැබ්රේස් ෂාම්සි ලකුණු 45 කට කඩුලු 5ක් දවාලූවේය. ෆෆ් ඩු ප්ලෙසි ,හසීම් අම්ලා හා ඩීන් එල්ගා යන ඉදිරිපෙළ හැර ඔවුන්ට මැදපෙළ ශක්තිමත් පිතිකරුවන් සිටින බවක් නොපෙනේ.

ගාල්ල ක්‍රීඩාංගණය කවදත් වාසි දී ඇත්තේ දග පන්දු යවන්නන්ටය.ශ්‍රී ලංකාව රංගන හේරත්,දිල්රුවන් පෙරේරා,අකිල ධනංජය හෝ ලක්ෂාන් සදකැන් යන දග පන්දු යවන්නන් අතුරින් තිදෙනෙකු ක්‍රීඩා කරවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ගාල්ල ක්‍රීඩාංගණයේ මුලින්ම පන්දුවට පහර දී ලකුණු 350 -400 ක් වැනි සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවන්නේ නම් තරගයේ වැඩි වාසිය ලැබීමට එය හොද අවස්ථාවකි.

ගාල්ල ටෙස්ට් තරගය පිළිබදව බදාදා(11) ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩුප්ලෙසි තම කණ්ඩායම පිතිකරුවන් හතක් දගපන්දු යවන්නන් දෙදෙනෙක් හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව ඇතුලු උපමහද්වීප රටවල් වලදී  අඩුවේග තණතිලිවල ක්‍රීඩා කිරීම තම කණ්ඩායමට අපහසු බවද කීවේය.

රොෂේන් සිල්වා මෙහිදී පැවසුවේ මේ තරගාවලියට ලංකා කණ්ඩායම හොදින් සූදානම්ව සිටින අතර ඉදිරියේ එන තත්වයන්ට මුහුණදීමට ලංකාව සූදානම් බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිනේෂ් චන්දිමාල්,සුරංග ලක්මාල්,අකිල ධනංජය,ධනංජය ද සිල්වා,නිරෝෂන් දික්වැල්ල(කඩුලු රකින්නා) ධනුෂ්ක ගුණතිලක,රංගන හේරත්,දිමුත් කරුණාරත්න,ළහිරු කුමාර,ඇන්ජලෝ මැතිව්ස්,කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා,කුසල් ජනාත් පෙරේරා,කසුන් රාජිත,ලක්ෂාන් සදකැන් සහ රොෂේන් සිල්වා

දකුණු අප්‍රිකා කණ්ඩායම

ෆෆ් ඩු ප්ලෙසි,හසීම් අම්ලා,ටෙම්බා බවුමා,තෙයුනිස් ඩි බ්‍රයන්,කුයින්ටන් ඩි කොක්(කඩුලු රකින්නා)ඩීන් එල්ගා,හෙන්රිච් ක්ලැසන්,කැසවු මහරජ්,ඒඩ්න් මාක්‍රම්,ලුන්ගි න්ගිඩි,වර්නන් ෆිලෑන්ඩර්,කගිසෝ රබාඩා, ටබ්රේස් ෂම්සි,ඩේල් ස්ටේන්,ෂෝන් වොන් බර්ග්

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්