ශ්‍රී ලංකා පාකිස්තාන තරගය වැස්සට සේදේ : කොදෙව් දක්ෂතා විශිෂ්ටයි

Thanathillen-Eha_3

          ශ්‍රී ලංකා පාකිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් තරගය වර්ෂාව හා ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත නොපැවැත්වීමෙන් පසුව දෙපිලටම ලකුණු 1-1 බැගින් සමසේ පිරිනැමිණි.

                      බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගයට වරින් වර උදෑසන සිටම වර්ෂාවෙන් බාධා ඇති වු අතර ක්‍රීඩාංගණයේ ඈත පෙදෙස් තෙත බරිතව තිබිණි. ජයග්‍රාහි කණ්ඩායමට පිරිනැමෙන ලකුණු දෙකෙන් ශ්‍රී ලංකාවට හිමිවූ ලකුණුත් සමග ශ්‍රී ලංකාවේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය වේගය -1.517ක් වී ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීමේදි දැනට තුන්වන ස්ථානයේ පසුවේ. පාකිස්තානය පසුවන්නේ -2.412ක්ව ශ්‍රී ලංකාවටත් වඩා පිටුපසිනි.

          2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයක් සම්පූර්ණයෙන්ම සේදී එකම පන්දුවක් හෝ නොයැවුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරගය ලබන 11වැනිදා බ්‍රිස්ටල්හි බංග්ලාදේශය සමගත් පාකිස්තානයේ මීළග තරගය 12වැනිදා ටෝන්ටන් හි ඕස්ට්‍රේලියාව සමගත් පැවැත්වීමට නියමිතය.

          තියුණු තරගයකට පසුව ඕස්ට්‍රේලියාව ලකුණු 15කින් කොදෙව් පිල පරාජය කරයි.

          2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් මෙවර කුසලානය දිනා ගැනීමට හැකි තරම් තත්ත්වයක පසුවන බවය. ඔවුනගේ දස්කම් දෙස බලන අයෙකුට සිහිවන්නේ 1970 සහ 80 දශකවල කොදෙව් ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා වලට මොවුන් සමාන බවකි.

          බ්‍රහස්පතින්දා (6) පැවැති කොදෙව් – ඕස්ට්‍රේලියා තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 15ක ජයක් ලැබුවත් කොදෙව් මැදපෙළ පිතිකරුවන් මීට වඩා මදක් ඉවසිලිවන්ත වුවානම් ඔවුනට පහසු ජයග්‍රහණ කරා යාමට අවස්ථාව තිබිණි.

          එම තරගයේදී ඕස්ට්‍රේලියාව ඕවර 49කදී සියලු පිතිකරුවන් දැවී ලබා ගත් ලකුණු 288ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල ඕවර 50 අවසානයේ ලබාගත්තේ ලකුණු 273කි. ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමේදී ඕවර 16 වන විට ලකුණු 79කට කඩුලු පහක් දැවී තිබිණි. පසුව ස්ටීව් ස්මිත් (73) එන්.කෝල්ටර් (92) සහ ඒ.කේරි (42) දස්කම් මත ඔවුනට ලකුණු 288ක් කරා යාමට අවස්ථාව ලැබිණි. බ්‍රෙත්වේට් ලකුණු 67 කඩුලු තුනක් දවාලීය.

          කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක ජේසන් හෝල්ඩර් (51) එන්.පුරාන් (40) එස්.හෝප් (68) දස්කම් පාද්දී මිචෙල් ස්ටාර්ක් (46ට 5යි) පන්දු යැවීමේ දී කැපී පෙනුණි. කොදෙව් පිල වරක් ඕවර 45දී කඩුලු හයට 252ක් ලබා ජයග්‍රහණය අසළම සිටියේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-