ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයෙන් 15වැනිදා ආසියානු කුසලාන තරගාවලිය ඇරැඹේ

Thanathillen Eha_1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන ආසියාවේ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය වන “ආසියානු කුසලාන” ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා (සැප්තැම්බර් 15වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයෙනි.

ඩුබායි නගරයේදී සවස 5.00ට ආරම්භ වීමට නියමිත මේ තරගය දිවා – රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙනුයේ විදුලි ආලෝකය මධ්‍යයේය.ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) සහ මෂ්රෆි මොටාසා (බංග්ලාදේශය) මේ තරගයේදී කණ්ඩායම් දෙක මෙහෙයවති.

1984 ආරම්භ වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වනුයේ 14 වන වතාවටය. මීට පෙර තරගාවලියන්හිදී ඉන්දියාව හයවරක්ද ශ්‍රී ලංකාව පස්වරක්ද පාකිස්තානය දෙවරක්ද කුසලාන දිනා තිබේ. මේ තරගාවලිය ආරම්භයේ සිටම එක්දින තරගාවලියක් ලෙස පැවැත්වුණු අතර 2016දී පමණක් 20-20 තරගාවලියක් ලෙස සංවිධානය කැරිණි. 2014 පැවැති අවසාන එක්දින ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවය හිමිකරගත්තේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේද එක්දින තරගාවලියක් ලෙසිණි. ආසියානු කුසලාන තරගාවලියන්හි කවදත් දස්කම් දක්වන ශ්‍රී ලංකාව තවත් හයවතාවකදී අවසාන තරගයට තේරී අනුසූරයන්ව ඇත.

ශ්‍රී ලංකාව මීට පෙර ආසියානු කුසලානය දිනා ඇත්තේ 1986, 1997,2004,2008 හා 2014 වසරවලිදීය. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරගාවලි දහතුනේදී ශ්‍රී ලංකාව තරග 52කට සහභාගී වී ඉන් තරග 35ක් ජයග්‍රහණ තරග 17ක් පරාජයවී සියයට 68.62ක ජයග්‍රහණ වාර්තා කර ප්‍රථම ස්ථානයේ සිටී. ජයග්‍රහණ වාර්තා අතින් ඉන්දියාව ලබා ඇත්තේ සියයට 65.95කි. (තරග 48කට සහභාගිවී ඉන්31ක් ජයගෙන 16ක් පරාජය වී ඇත.)

මෙවර (2018 ) ආසියානු කුසලාන සහභාගිවන කණ්ඩායම් කොටස් දෙකකට බෙදා ඇත. එයින් ඉන්දියාව පකිස්ථානය සහ හොංකොං ඒ කොටසටත් ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය බී කොටසටත් අයත් වෙති ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික තරග 15වැනිදා බංග්ලාදේශය සමග ඩූබායි නගරයේත් 17වැනිදා ඇෆ්ගනිස්ථානය සමග අබුඩාබි නගරයෙත් පැවැත්වීමට නියමිතය.

දෙවන වටයේ තරග සැප්තැම්බර් 21 සිට 26 දක්වා පැවැත්වෙන අතර අවසාන තරගය 28 වැනිදා ඩුබායි නගරයේදී පැවැත්වීමට නියමිතය.

ආබාධ මත කළින්ම දිනේෂ් චන්දිමාල් ද පසුව පසුගිය බදාදා ඩුබායිහි පුහුණුව ලබන අතරතුර ආබාධයට ලක්වූ ධනුෂ්ක ගුණතිලකද තරගාවලියට සහභාගි නොවේ. දගපන්දු යවන අකිල ධනංජය පසුව කණ්ඩායමට එක්වන හෙයින් ඔහුද ප්‍රථම තරගයට සහභාගි නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම :-

අන්ජලෝ මැතිව්ස් (නායක) කුසල් ජනිත් පෙරේරා,කුසල් මෙන්ඩිස්,උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා ෂෙහාන් ජයසූරිය අකිල ධනංජය දිල්රුවන් පෙරේරා අමිල අපොන්සු සුරංග ලක්මාල් ලසිත් මාලිංග දුෂ්මන්ත චමීර හා කසුන් රාජිත

බන්දුල මොල්ලිගොඩ