සුපිරි එක්දින තරගාවලිය කණ්ඩායමේ කළමනාකරුවෝ පසසති

Thanathillen Eha_1

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික සංචිතයේ ක්‍රීඩකයන්, නැගී එන සහ තරුණ ක්‍රීඩකයන් සමග ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී වන සුපිරි හතර එක්දින තරගාවලිය ඉතාමත් කාලෝචිත තියුණු තරගාවලියක් බවත්, මේ තරගාවලියට සහභාගී වන නවක ක්‍රීඩකයනට පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇතැයි ගාල්ල කණ්ඩායමේ කළමණාකරු වරුණ වරාගොඩ ප්‍රකාශ කරයි.

Varuna Waragoda Galle Manager

අන්තර් සමාජ මට්ටමේ පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් මෙහි ක්‍රීඩා කරනවා.  ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාකර දස්කම් පෙන්වා ජාතික මට්ටමට යාමට අවස්ථාව සැළසීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවත් බවද වරුණ වරාගොඩ පවසයි.

මෙවැනි තරගාවලියන්ගෙන් අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩකයනට ජාතික මට්ටමට යා හැකි බවට හොඳම උදාහරණය සිව්දින තරගාවලියේදී තරග තුනේදී කඩුලු 11ක් ලබාගත් ගාල්ල නියෝජනය කළ නිසල තාරක ක්‍රීඩකයා හැඳින්වීමට පුළුවනි.  බටහිර ඉන්දීය කොදෙව් බලායන ශ්‍රී ලංකා පිල තෝරන විස්සක සංචිතයට නිසල තාරක අනිවාර්යයෙන් තේරේවි.

එක්දින තරගාවලියන්ට නවක ක්‍රීඩකයන් සොයාදෙන හොඳම තරගාවලිය මෙයයි.  දැන් බලන්න රොෂේන් සිල්වාට මෙපමණ කළක් කීවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයයෙක් පමණයි කියලා.  එහෙත් එක්දින තරගයකට ඔහුට දුන් ප්‍රථම අවස්ථාවේම පන්දු 59කදී ලකුණු 55ක් ලැබුවා.  19 හැවිරිදි ෂම්මු අෂාන් පන්දු 73කදී ලකුණු 72ක් ලබා වැඩිම ලකුණු ලාභියාවූවා.  මෙවැනි ක්‍රීඩකයනට ජාතික ජගත් මට්ටමේ එක් දින දොර විවෘතවනවා.  ඒ වගේම ජාතික මට්ටමේ ඉඳලා පහත වැටුණු අයට නැවත ජාතික තලයට යාමටත් මෙය හොඳ අවස්ථාවක්.  විශාල මුදලක් වියදම් කර සියලු පහසුකම් ජාත්‍යන්තර මට්ටමින් ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවද වරුණ වරාගොඩ කීවේය.

Mahela Udawatte

  • මහනුවර කණ්ඩායමේ කළමණාකරු මලින්ද වර්ණපුර

Malinda Warnapura

එක්දින ක්‍රිකට් ක්‍රීඩකයනට ලැබී ඇති හොඳම අවස්ථාව මේ එක්දින තරගාවලිය ලෙස මේ තරගාවලිය තමා දකින්නේ යැයිද විශේෂයෙන්ම අන්තර් සමාජ ක්‍රීඩකයන්ට ඉහළට යාමට මෙය හොඳම අත්වැළක් බව මහනුවර කළමණාකරු මලින්ද වර්ණපුර පවසයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තෝරාගැනීමටත් හොඳම තරගාවලිය මෙයයි.  අන්තර් සමාජ තරගාවලියට වඩා මෙය පවතින්නේ ඉතා ඉහළ මට්ටමකයි.

ලකුණු අතර නොසිටින දක්ෂ පිතිකරුවන්ටත් දක්ෂ පන්දු යවන්නන්ටත් නැවත දක්ෂතා පෙන්වා ජාතික තලයට යාමට මෙය හොඳම අවස්ථාවක්.  මේ තරගාවලියේ එක් කණ්ඩායමකට තරග හයක් පමණ ලැබෙනවා.  දක්ෂ පිතිකරුවකුට හෝ පන්දු යවන්නෙකුට නැවතත් ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසීමට මෙය හොඳටම ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිවිශාල මුදලක් වැයකර මේ උත්සාහගන්නේ හොඳම කණ්ඩායම තෝරාගැනීමටයි.  අප එය පැසසිය යුතුයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කැමැත්තෙන්ම මහනුවර කණ්ඩායමේ නායකත්වයට ඉදිරිපත්ව සිටිනවා.  ඒ වගේම සියලු ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන් මේ තරගාවලිය සාර්ථක කර ගැනීමට උපරිම සහය දෙනවා.  අප ඔවුනට ස්තූතිවන්ත වනවා යැයිද මලින්ද වර්ණපුර කීවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-