සුපිරි හතර තරගාවලියෙන් ඉදිරියට ආ තරුණ ක්‍රීඩකයෝ

Thanathillen Eha_1

පසුගියදා නිමාවට පත්වූ අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.  පැතුම් නිශ්ශංඛ, මනෝජ් සරත්චන්ද්‍ර සහ නිශාන් පීරිස් එසේ දස්කම් පෑ ක්‍රීඩකයන් තිදෙනෙකුවේ.

ඔවුන් පිළිබඳ විස්තර පහත දැක්වේ :­

Pathum Nissanka

Pathum Nissanka

  • පැතුම් නිශ්ශංක – ජාතික හෝ ජාත්‍යන්තර තලයේ නම් දරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, තම අධිෂ්ඨානය තමන්ටම ආවේනික වූ ක්‍රීඩකයෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බවත්, 19 හැවිරිදි පැතුම් නිශ්ශංක පවසයි. “අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියට මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හා ඉතිරි දක්ෂතම ක්‍රීඩකයන් සහභාගී වූවා.  ඔවුන් සමග තරග කර මහනුවර පිල නියෝජන කරමින් ගාල්ලට එරෙහිව දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 188ක් ලබාගැනීමට හැකිවීම භාග්‍යයක් බව පැතුම් නිශ්ශංක පවසයි.

මා සතියකට දින හයක් සාමාන්‍ය පුහුණුවට වඩා පන්දුවට පහරදීමට පුහුණුව ලබනවා.  අවුරුදු හතේ සිට කුඩා කළ මගේ ක්‍රිකට් පුහුණුකරු වූයේ මාගේ තාත්තා සුනිල් සිල්වායි.  කලුතර විදුහලේ අවුරුදු 13න් පහළ නියෝජනය කළ පැතුම් පසුව කොළඹ ඉසිපතන කණ්ඩායමට සම්බන්ධ වූවා.  මුලින් මැදපෙළ පිතිකරුවකු වූ පැතුම් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඇතුලු වූ පසු නිත්‍ය ආරම්භක පිතිකරුවකු වූවා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් වසරකදී තරගාවලි තුනකට සහභාගි වී ඇත.  වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ලංකා 19න් පහළ නියෝජනය කර දකුණු අප්‍රිකා 19න් පහළ කණ්ඩායම සමග ලකුණු 170ක් ලැබීය.  පැතුම්ගේ අපේක්ෂාව ජාතික කණ්ඩායමට ඇතුළත්ව වඩා හොඳින් ක්‍රීඩා කිරීමයි.

Manoj Sarathchandra

Manoj Sarathchandra

  • මනෝජ් සරත්චන්ද්‍ර – 25 හැවිරිදි මනෝජ් සරත්චන්ද්‍රෙග් එකම අපේක්ෂාව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකු වන මනෝජ් ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරයි.  සුපිරි හතර තරගාවලියේදී දඹුල්ල පිල නියෝජනය කරමින් කොළඹ සමග පන්දු 107කදී ලකුණු103ක් ලැබීය.  එම තරගයේදී කඩුලු හතරක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් සිටියදී තමාට ශතකයක් ලබා කණ්ඩායම ගොඩ ගැනීමට හැකවීම පිළිබඳව සතුටු වන බව මනෝජ් පවසයි.

අන්තර් සමාජ මට්ටමින් මා ශතක ලබා ඇතත් මෙවැනි දක්ෂ ක්‍රිඩකයන් පන්දු යවන්නන් සමග ලැබූ ශතකය පිළිබඳව වඩා සතුටුවනවා.  ඩියුක් පන්දුවෙන් ක්‍රීඩාකර ශතකය ලැබීම ගැන වඩා සතුටු වන බව පවසන මනෝජ් තමා අංක 7 සහ අංක 8 ස්ථානවල පන්දුවට පහරදුන්නත් ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි බවද පවසයි.

Nishan Peiris

Nishan Peiris

  • නිශාන් පීරිස් – ඉන්දියාවේ රවිචන්ද්‍ර අස්වින් මෙන් තුන් ඉරියව්වේම දස්කම් පෑම නිසාන් පීරිස්ගේ අපේක්ෂාවයි. ගාල්ල පිල නියෝජනය කළ 21 හැවිරිදි අඩි හයයි අගල් 2ක් උසැති මොහු මහනුවර සමග තරගයේදී ලකුණු 67කට කඩුලු හයක් දවාලූවේ ජාතික ක්‍රීඩකයන් වන ඇන්ජිලෝ මැතිව්ස්, මහේල උඩවත්ත හා ජීවන් මෙන්ඩිස් ද ඇතුලුවය.  තරග දෙකකදී කඩුලු 8ක් දවාලූ නිශාන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු 30ක් ලබා ඇත.  මීගමුව ශාන්ත පීතර විදුහලේ ආදී සිසුවෙකි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-