ළහිරු තිරිමාන්නගේ නැවත පැමිණීම සාර්ථක වේවි

Thanathillen Eha_1

වසර 37කට පෙර ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ( ජගත් ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය) පිරිනැමීමෙන් පසු මේ දක්වාම වරින් වර සාර්ථක වූ නායකයන් හා උප නායකයන් යුගල බැගින් බිහිවූහ. බන්දුල වර්ණපුර ප්‍රථම ටෙස්ට් නායකයා වන විට උප නායකනයා වූයේ දූලීප් මෙන්ඩිස්ය. පසුව එලෙස පැමිණි නායක උප නායකයන් යුගලයන් වූයේ දූලීප් මෙන්ඩිස් සහ රෝයි ඩයස්, රංජන් මඩුගල්ලේ සහ අර්ජුන රණතුංග, අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරය.

මහේල හා සංගක්කාරගෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් වරින් වර ඇතිවූ ආබාධයන් මත ක්‍රිකට් පිටියෙන් කිහිපවරක් විවේක ගන්නා ලදී. දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න යුගලය අප පෙර කී නායක උප නායක ධූරයන් සාර්ථකව හොබවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළත් පෞද්ගලිකව ඔවුන් දෙදෙනාගේ අසාර්ථක වීම් මත එම කාර්යයන් ඉටුකිරීමට අවස්ථාව නොලැබිණි. චන්දිමාල් වරින් වර ලකුණු අතරට එමින් නායකත්වයන් දැරුවත් ළහිරු තිරිමාන්න 2017 වර්ෂයේදී අසාර්ථකත්වයට පත්වීමෙන් දිගුකලක් ඔහු පිළිබඳව අසන්නට නොලැබිණි.

Lahiru Thirimanne

          මීට වසරකට පෙර ශ්‍රී ලංකා “ඒ”   කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරය කළ අවස්ථාවේ ළහිරු තිරිමාන්න ප්‍රබල අයුරින් නැවත ලකුණු අතරට පැමිණිමත් සමග තරගාවලි කිහිපයකම දස්කම් දක්වා ඔහු නැවතුණේ 2019 එංගලන්තයේ ලෝක කුසලාන තරගාවලියට තමාම සුදුසුකම් ලබා ගනිමිනි. මීට මාස 03කට පෙර ටෙස්ට් කණ්ඩායමේ නවසීලන්ත හා ඕස්ට්‍රේලියා සංචාරයන්හිදී තරග තුනකදී ආරම්භක පිතිකරු ලෙස ඉනිමක සමාන්‍ය ලකුණු 42 ඉක්මවා ලබා ඔහු ජාත්‍යන්තර පිටිය ප්‍රබල ලෙස ආක්‍රමණය කළේය. පසුව පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පැවැති සුපිරි අන්තර පළාත් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ දෙවැනි පිතිකරු ලෙස ඉනිමක සාමාන්‍ය ලකුණු 55 ආසන්නයටම පැමිණියේ අවසාන තරගයේ ශතකයක් හා ඊට පෙර ලකුණූ 82ක්ද දක්ෂ අයුරින් ලබා ගනිමිනි.

          2010 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තිරිමාන්න 2013 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ වෙහසකාරී ගුවන් ගමනකට පැය 36කට පසුව ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේම ලකුණු 91ක් ලැබීය. ඊට දින 10කට පසුව ප්‍රථම එක්දින තරගයේදී ඇඩිලේඩ් නගරයේදී ශතකයක් ලබමින් ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය. 2014 මීර්පූර්නි ආසියානු කුසලාන අවසාන තරගයේ ශතකයක් ලබා (පාකිස්ථානය සමග)  තරගයේ වීරයා හා ලංකා ජයග්‍රහණයේ නියමුවා විය. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග නොදැවී ලකුණු 139ක් ලබා වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

          1989 අගෝස්තු 09 වැනිදා උපත ලද ළහිරු තිරිමාන්න වමත් ආරම්භක පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකාව,ශ්‍රී ලංකා “ඒ”  , ශ්‍රී ලංකා 19 පහළ පිල රාගම ක්‍රිකට් සමාජය කදුරට මේරුන්ස් නියෝජනය කර ඇත. එක්දින තරග 117කට සහභාගි වී ඉනිම 97කදී ලකුණු 2946ක් රැස්කර සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 34.65ක් ලබාගනිමිනි. මෙයට අර්ධ ශතක 20ක් හා ශතක හතරක්ද අයත්ය. තිරිමාන්නගේ නැවත ආගමනය විශිෂ්ටය. ඔහුට සුපුරුදු දස්කම් පෑමට අවස්ථාව උදාවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට එය බෙහෙවින් දායකවනු නිසැකය.තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ප්‍රකාශ කරන්නේ තිරිමාන්න දක්ෂ පිතිකරුවෙක්. ඔහුගේ සේවය දිගුකළක් ලබා නොගැනීම පාඩුවකි. යන්නය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-