1996 ලෝක කුසලානය දිනන විටත් රටේ තිබුණේ මෙවැනි වතාවරණයක් ක්‍රීඩා ඇමති කියයි

Thanathillen Eha_1

          ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජය ගන්නා අවස්ථාවේ රටේ වාතාවරණයත් වත්මන් රටේ තත්ත්වයත් එක හා සමානයි. එදා තිබුණේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය. අද ඇත්තේ අයි.එස්. අයි.එස්.ත්‍රස්තවාදය එදා ලෝක කුසලානයට පෙර අප සිටියේ තරග 5-0කින් පරාජය වෙලා. ඒත් මහජනතාවගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනුවා. වත්මන් කණ්ඩායමත් මෑතකදී එක්දින තරග කිහිපයකදී පරාජයවූවා. මහජනතාවගේ ආශිර්වාදය රැගෙන ගොස් ලෝක කුසලානය ජය ගැනීමට අප කණ්ඩායමට සුබපතමු යැයි ක්‍රීඩා හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලෝක කුසලායට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේය.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම සඳහා ගාම්භීර උත්සවයක් සංවිධානය කළ යුතු වුවත් ඒ සඳහා අප චාම් උත්සවයක් සංවිධානය කළේ රටේ පවතින තත්ත්වය මතයි. කණ්ඩායමේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශය ක්‍රියාකරන අතර ජගත් ක්‍රිකට් සමුළුව එංගලන්තයේදී අප කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් සපයනවා. අපගේ ක්‍රීඩකයන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් පවතින බව මා හොදින් දන්නා කරුණකි.කණ්ඩායමට හා ඊට සහයෝගය දක්වන අයට අවලාද නගන පිරිසක් ද සිටිනවා. ඔවුනට දියහැකි හොඳම පිළිතුර දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තරග ජය ගැනීම යැයි ද ක්‍රීඩා අමාත්‍යවරයා කීවේය.

Dimuth Karunaratne addressing the Media

අසීරු අවස්ථාවක රටක් හැටියට එකට එකතුවී ලංකා කණ්ඩායමට ආශිර්වාද කරන ලෙස තමා සියළු ජනකොටස් වලින් ඉල්ලා සිටින බව කී ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවට ජාති ආගම් කුල ඇතුළු සියළු බේද දුරැලිය හැකි බවද පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ. කණ්ඩායම සමූහ ඡායාරූපයකට ද මෙහි දී පෙනී සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා කතා කරමින් රටේ තත්ත්වය මත විශාල සුබ පැතීමේ උත්සවයක් පැවැත්වීමට නොහැකි වුවත් රටේම ජනතාවගේ හදවත් ඔබ සමග බව කණ්ඩායමට දැනුම් දීමට කැමැත්තෙමි යැයි ප්‍රකාශ කළේය. කළමණාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයන් සමග කතාබහ කිරීමේදී ඔවුන් උසස්  මානසික මට්ටමක සිටින බව අපට පෙනී ගියා. දිමුත් ඇතුලු කණ්ඩායම කුසලානය පවා දිනා ගත හැකි දස්කම් ඇති පිරිසකි. ක්‍රිකට් ආයතනයේත් රටේ සියලු ජනතාවගේත් ආශිර්වාදය රැගෙන ගොස් ජය ලබා රටට ගෞරවයක් ගෙන එන මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින්, පසුගිය දිනවල පැවැති සිද්ධීන් අමතක කර සියළු ක්‍රීඩකයන් දැන් උසස් මානසික මට්ටමක පසුවන බවත් සියළුම ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව එකමුතුව ක්‍රීඩා කර කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේක්ෂා කරන බව කීවේය. මා නායකයන් සිව්දෙනෙකු යටතේ ක්‍රීඩා කර තිබෙනවා. දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරයේ මා හට නායකත්වය පිරිනැමුණුවිට පෙර නායකයන්ගේ අත්දැකීම් හා උපදෙස් මත තරගාවලිය ජයගැනීමට අපට හැකිවූවා. ඒ ආකාරයෙන්ම මේ තරගාවලියත් ජයගෙන රටට ගෞරවයක් ගෙන ඒමට අපේක්ෂා කරන බවද දිමුත් කරුණාරත්න කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, කණ්ඩායමේ කළමණාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යන අය ද මේ අවස්ථාවට සහභාගිවූහ.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-