23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාවෝ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොබෝදා සංවිධානය කළ කාන්තා වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස ගාල්ල කණ්ඩායමේ ශිකාරි නුවන්ති තේරිණි. ඇය තරග තුනේදී ඉනිම තුනකදී ලකුණු 70ක් ලබා පන්දු යැවීමේදී කඩුලු අටක් ලබා තුන් ඉරියව්වේම දස්කම් පෙන්වූ දක්ෂම ක්‍රීඩිකාව ලෙස තේරිණි.

මීට අමරතව හොදම පිතිකාරිණිය ලෙස මහනුවර කණ්ඩායමේ ළිහිණි අප්සරාත් (තරග තුනයි ඉනිම 5යි ලකුණු 193යි) සහ හොඳම පන්දු යවන්නිය ලෙස ගාල්ල කණ්ඩායමේ සුලේෂා සත්සරණි (තරග තුනයි ඉනිම 4යි ලකුණු 87ට කඩුලු 12යි) තේරිණි.

කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතර මේ තරගාවලියට සහභාගි විණි. මහනුවර කණ්ඩායමේ ළිහිණි අප්සරා (ලකුණු 193) සචිනි දයාරත්න (ලකුණු 89යි) හා තරුෂි රාජකරුණා (ලකුණු 41යි) පන්දුවට පහර දීමේදී ද තරුෂි රාජකරුණා සහ ඉරේෂා වත්සලා කඩුලු පහ බැගින් ලබා පන්දු යැවීමේදී ද දක්ෂතා පෙන්වූහ.

U23 Womens Super Provincial_4V3A4788

කොළඹ කණ්ඩායමේ ජනාදි අනාලි ලකුණු 106ක්ද, පබසරා රණබාහු ලකුණු 65ක්ද, සචිනි දිල්ෂානි ලකුණු 58ක්ද ලබා පිත්තෙන් දස්කම් පෑහ. මේ කණ්ඩායමේ හොඳම පන්දු යවන්නිය වූ සිත්මි හිරාෂා කඩුලු හතරක් දවාලීමට සමත්විය.

ගාල්ල කණ්ඩායමේ ශිතාරි නුවන්ති ලකුණු 70ක්ද, ඉරේෂා චතුරානි ලකුණු 65ක්ද, නිලක්ෂා සදමිනි ලකුණු 62ක්ද ලබා පන්දුවට පහරදීමේ දී දක්ෂතා පෙන්වීය. පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ සුලේෂා සත්සරණි කඩුලු 12ක්ද, ෂිතාරි නුවන්ති හා සචිනි නිසංසලා කඩුලු අට බැගින්ද දවා දක්ෂතා දැක්වූහ.

දඹුල්ල කණ්ඩායමේ සත්‍යා සන්දීපනී ලකුණු 90ක්ද, මල්ෂානි ගමගේ ලකුණු 85ක්ද, ජිනන්ජලී විජේනායක ලකුණු 84ක්ද ලබා පිත්තෙන් දස්කම් පෑ අතර දෙව්මිණි විහංගා පන්දු යැවීමේදී කඩුලු අටක් දවාලමින් කැපී පෙනිණි.

දක්ෂතම ක්‍රීඩිකාවනට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාදීමට ජාතික සංචිතයට ඇතුලු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-